දේශපාලන ක්ෂේත්‍රයේ පුරුෂයින්ට සාපේක්ෂව ස්ත්‍රී නියෝජනය අඩු වීමට හේතු

 

දේශපාලන ක්ෂේත්‍රයේ පුරුෂයින්ට සාපේක්ෂව 

ස්ත්‍රී නියෝජනය අඩු වීමට හේතු





          යුරෝපීය රටවල හැර අනෙකුත් රටවල් අතර කාන්තාවන්ට ඡන්ද බලය ප්‍රථමයෙන්ම ලැබුණේ ලාංකික කාන්තාවන්ටය. එවැනි තත්වයක් තුළ කාන්තා නියෝජනය අඩු වීමට බලපා ඇති හේතු මොනවාද? එය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත ගොඩනැගෙන්නක් ද යන්න විමසා බැලීම වැදගත්ය. ලාංකික කාන්තාවගේ දේශපාලන සහභාගිත්වය 1931 සර්ව ජන ඡන්ද බලය හිමි වීමත් සමග වරප්‍රසාද ලත් කණ්ඩායම් වලට සීමා වීම, විවිධ ආර්ථික පසුබිම දේශපාලන කටයුතු වලට සීමා විය. එසේ වුවත් 1947 පසුව කාන්තාවන් දේශපාලන කටයුතු වල යෙදිය හැකි පරිදි ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම මෙන්ම මානව අයිතිවාසිකම් පිළිගැනීම හා දේශපාලනයේ යෙදීමට තිබූ නීතිමය අවහිරතාවයන් ඉවත් විය. ඒ මගින් නීතිමය හා ආයතනික වශයෙන්  සීමා කිරීමකින් තොරව කාන්තාවන්ටද දේශපාලන කටයුතුවල නිරත විමට අවස්ථාව උදා විය. එසේ නමුත් ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීම හා මහජන නියෝජිතයන් ලෙස ක්‍රියාත්මක වීම මන්දගාමී වීමට ප්‍රධාන හේතුව ලෙස කාන්තාවන් හා දේශපාලනය කෙරෙහි පවතින ස්ත්‍රී-ප්‍රරුෂ සමාජභාවයේ ලක්ෂණ බාධක වශයෙන් පැවතීම යැයි සැලකිය හැකිය. දේශපාලන සහභාගිත්වයේදී දක්නට ලැබෙන ඡන්දය ප්‍රකාශ කිරීම නිහඩ ක්‍රියාවක් වශයෙන් සිදු කරනු ලැබේ. ඒ නිසාම ඡන්දය ප්‍රකාශ කිරීම අතින් ලාංකික කාන්තාව ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමින්ද ඉහළ ස්ථානයක සිටී. නමුත් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලදී පවතින සමාජ, සංස්කෘතික හා ආකල්පමය ස්වරූපය නිසා පසුබැස්මක් පවතින බව පෙනේ.

          දේශපාලනය තුළ ස්ත්‍රී නියෝජනය පිළිබදව අවධානය යොමු කිරීමේදී ස්ත්‍රීය සම්බන්ධව පවතින සමාජ සංස්කෘතික ආකල්ප පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ. සමාජ සංස්කෘතිය මගින් ස්ත්‍රීය හා පුරුෂයා අතර ඇති කරන වෙනස (ස්ත්‍රී පුරුෂ සමාජභාවය) නිසාම කාලයක් තිස්සේ ස්ත්‍රිය හදා වඩා ඇත්තේ පිරිමියාට වඩා වෙනස් ආකාරයකටය. පවුල තුළ ඇය දියණියක්, සහෝදරියක්, මවක්, බිරිදක් ලෙස පවුලේ පිරිමියෙකු යටතේ කටයුතු කළ යුතුය යන සමාජ ආකල්පය මත වන අතර ගෙදර දොර කටයුතු දරුවන් හදාවඩා ගැනීම ඇතුළු පවුලේ සියළු කටයුතු ඇය මත පැවරිණි. නිවසින් පිටත කටයුතු සදහා කුඩා කල සිටම යොමු කරවන්නේ පිරිමි දරුවන්ය. මේ නිසා ඔහුට සමාජයේ තත්වය ඊටත් වඩා හාත්පසින්ම වෙනස් විය. ඇය පොදු කටයුත්තකට සම්බන්ධ වුවහොත් එය සමාජය පිළිගත් සම්ප්‍රධායන්ට පටහැනි කටයුත්තක් නම් ඇය සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කරන ස්ත්‍රීයක් ලෙස දකියි. එසේම දියණියක්, සොහොයුරියක්, බිරිදක්, මවක් ලෙස සමාජ පිළිගත් කාර්යයන් ඉටු නොකරන, වගකීම් පැහැර හරින ස්ත්‍රීයක් ලෙස ද සමාජය පිළිගනී. මෙම සමාජ සම්මතයන් හා පිළිගැනීම් නිසා තමන්ට කොතරම් උවමනාවක්, කැමැත්තක් තිබුණද බොහෝ ස්ත්‍රීන් දේශපාලනය වැනි පොදු කාර්යයන් වල නිරත වීමට අකමැත්තක් දරයි.

          එසේම නගරබද කාන්තාවන්ට වඩා ගම්බද කාන්තාවන්ට මෙම තත්වය විශේෂයෙන් බලපානු ලබයි. මෙම සමාජ සම්මතයන්ට පිටු පා දේශපාලන කටයුතු වල නිරත වීමට කොතරම් කැමැත්තක්, උවමනාවක් තිබුණ ද පවුලේ සහ දරුවන්ගේ කටයුතු වෙනත් ප්‍රජා සම්බන්ධතා පවත්වාගෙන යාම ආදී කටයුතු වල නිරත වීමට සිදු වීම නිසා ඒ සදහා සහභාගී වීමට ඇති අවස්ථාවන් සීමිත වන අතර මෙම කාර්යයන් වලට අමතරව නිවසින් බැහැරව රැකියාවක් කරන්නේ නම් එය තවත් දුෂ්කර කාර්යයක් වේ. එමෙන්ම ස්ත්‍රීය කායික මෙන්ම මානසිකවත් දුර්වල අහිංසක, මෘදු මොලොක් තවත් කෙනෙකුගේ (පිරිමියෙකුගේ) රැකවරණය ඇතිව සිටිය යුතුය යන සමාජයේ සාවද්‍ය ආකල්ප නිසා බොහෝ පවුල් වල ඇයට තනිව නිවසින් පිටත වැඩවලට සම්බන්ධ වීමේ අවස්ථාවන් අහුරා ඇත. මේ ආකාරයෙන් ස්ත්‍රීයගේ කාර්යය හා වගකීම් කුටුම්භයට පමණක් සීමා කිරීම හරහා ඇයට දේශපාලනය වැනි පොදු සමාජ කටයුතු වලට සම්බන්ධ වීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි වී ඇත.

          බොහෝ අවස්ථා වල ඇතැම් ආගම් තුළ ස්ත්‍රීන් සම්බන්ධව පවතින නීති රීති මෙන්ම පසුගාමී සමාජ සංස්කෘතික හේතූන්ද දේශපාලනය තුළ ස්ත්‍රීන්ගේ නියෝජනය අඩු වීමට බලපා ඇත. එසේ එක් ජනවර්ගයක් විසින් තවත් ජනවර්ගයක් සදහා සිදු කරන වෙනස් කොට සැලකීම්ද ස්ත්‍රී නියෝජනය අවම තත්වයකට පත් වීමට හේතුවක් වී ඇත. දකුණු ආසියාතික සමාජ සංස්කෘතික පසුබිම විග්‍රහ කිරීමේදී කාන්තාවන්ට සමාජය විසින් උරුම කොට ඇති සමාජ ස්ථානය (Social Position) පිළිබදව අවධානය යොමු කළ යුතුව ඇත. කෘෂිකාර්මික සමාජ ක්‍රමයක් පවතින දකුණු ආසියාතික සමාජයේ පුරුෂාධිපත්‍ය තහවුරු වී ඇති බව පෙනේ. මෙය ආගමික සිරිත් විරිත් සමාජ පිළිගැනීම් යනාදී වශයෙන් සාර්ව මට්ටමින් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය අඩු වීම කෙරෙහි බලපා ඇත. ඒ අනූව රහසිගත කටයුතු, රාත්‍රී කාලයේදී පවා සාකච්ඡා පැවැත් වීම සහ අන් අයට නායකත්වයක්  දීමට ඇයට අවකාශයක් නොමැත. අන් අයට නායකත්වයක් දිය හැකි වුවත් එය බහුතර පුරුෂ ආධිපත්‍ය විසින් පිළිනොගනී.  කෙසේ වෙතත් කාන්තාවන් කෙරෙහි බලපවත්වන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා සම්බන්ධ කරුණු ආශ්‍රිතව ඔවුන්ගේ සහභාගිත්වය අඩු වීම, ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම හා තීරණ ගැනීමේ අවස්ථාවන්ට සහභාගී විමට අවස්ථාව නොලැබී යාම නිසාද කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම අඩු මට්ටමක පවතී.

           කාන්තාවන් දේශපාලනයට සහභාගී නොවීමට තවත් හේතුවක් නම් දේශපාලන පක්ෂ පදනම් කර ගත් බලය ලබා ගැනීමේ ක්‍රියාමාර්ග හේතු වී ඇත. වර්තමාන ලංකාවේ දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම සදහා ඝාතන, මිනීමැරීම්, ප්‍රචණ්ඩක්‍රියා, පහරදීම්, බියවැද්දීම වැනි හිංසාකාරී කටයුතු අත්‍යාවශ වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන බලය ලබා ගැනීමේ ව්‍යපාරද මෙවැනි හිංසාවාදී, කලහකාරී මුහුණුවරක් උසුලති. මෙවැනි කටයුතු වලදී සමාජයේ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය සමග ඒවා පුරුෂයන්ට අයත් කාර්යයන් බවට පත්වේ. ඒවා කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීමට අධෛර්යමත් කරන තත්වයන් ලෙස දැක්විය  හැකිය.

           සාම්ප්‍රදායික සමාජ ක්‍රමය තුළ ස්ත්‍රීයට අධ්‍යාපනය හා වෘත්තියක නියැලීමේ අයිතිය සීමා වුවත් පසු කාලීනව පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රිය ද එම ක්ෂේත්‍ර වෙත පිවිසීමක් සිදු වේ. විශේෂයෙන් අධ්‍යාපන අංශයේ ස්ත්‍රි පුරුෂ වශයෙන් සමාන ඉඩප්‍රස්ථා හිමිවීම අතර එතරම් පරතරයක් වර්තමානයේ දක්නට නොලැබුණද ආර්ථික ක්ෂේත්‍රයෙහි එම වෙනස පැහැදිළිව හදුනාගත හැකිය. ලාංකේය ස්ත්‍රින් ආර්ථික ක්‍රියාවලියට සෘජු ලෙස සිය දායකත්වය සැපයුවද පුරුෂයන්ට සාපේක්ෂව සම්පත් බෙදී යාම තුළ ඇයට හිමි වන්නේ අඩු වැදගත්කමකි. එසේ කුටුම්භයෙහි ස්ත්‍රියට තවදුරටත් යැපෙන්නාගේ භූමිකාව ඉටුකිරීමට සිදු වීම හරහා ඇයට දේපළ වැනි කටයුතු සම්බන්ධයෙන් සෘජුව තීරණ ගැනීමට නොහැකි වී තිබේ. එය වක්‍රාකාරයෙන් දේශපාලන සහභාගිත්වය දුර්වල කිරිමටද බලපෑම් කරයි. පුරුෂයින්ට සාපේක්ෂව මැතිවරණ ක්‍රියාවලිය දියත් කිරීම සදහා මුදල් හා සම්පත් ස්ත්‍රින්ට ඇත්තේ අඩු වශයෙනි. එබැවින් තරගකාරී දේශපාලන රටාවකට ඇයට යොමු වීම සදහා ඇයට පවතින ඉඩකඩ සීමා වී ඇත.

            මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ මොහොතේ පටන් එය අවසාන වන තුරුම සක්‍රීය දායකත්වයක් ස්ත්‍රිය දැක්වුවද පක්ෂ තීරණ ගන්නා මට්ටම්වලදී ඇගේ දායකත්වය ලබා ගන්නේ ඉතා අවම මට්ටමකිනි. ලංකාවේ මැතිවරණ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ මැතිවරණය සදහා ස්ත්‍රින්ට නාමයෝජනා ලබාදීමට පෙළඹී ඇත්තේ අඩු වශයෙන් බවයි. සෑම දේශපාලන පක්ෂයක් තුළම පුරුෂාධිපත්‍ය ක්‍රියාත්මක වීම, සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ විශාල ඡන්ද කොට්ඨාසයක මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීමට සිදුවීම දේශපාලනය තුළ ස්ත්‍රින්ට අවාසි සහගත තත්වයන්ට හේතු වී තිබේ. දැනට දේශපාලනයේ නියැලී සිටින ස්ත්‍රින් කිහිප දෙනාට ද එම අවස්ථාව හිමි වී ඇත්තේ තම ස්වාමි පුරුෂයාගේ හෝ පවුල් පසුබිමේ බලපෑමෙනි. එසේ නොවන ස්වාධීන ලෙස මහජන පදනමක් මත දේශපාලනයට පිවිසි ස්ත්‍රින් සිටින්නේ අතළොස්සකි. එසේම තරගකාරී මැතිවරණ ක්‍රමය තුළ පවතින අනිසි දේශපාලන ප්‍රචණ්ඩත්වය ද ස්ත්‍රින්ගේ දේශපාලන ගමනට බාධා වී ඇත.

          ස්ත්‍රියගේ දේශපාලන සහභාගිත්වය අවම වීමට සමාජය විසින් මෙන්ම ඇය විසින්ම පිළිගෙන ලැබ ඇති මනෝභාවාත්මක සාධකද හේතු වේ. පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්ත්‍රිය කුටුම්භය තුළට සීමා වී සිටිම නිසා ඇගේ මෙන්ම සමාජයේ ද ආකල්පය හා පිළිගැනීම වී ඇත්තේ  “ස්ත්‍රිය යනු කුටුම්භයේ කාර්යයන්ට පමණක් සීමා වූ පොදු කටයුතු වලින් විශේෂයෙන් දේශපාලනය වැනි කාර්යයන්ට නොසුදුසු බවයි.” පවතින දූෂිත ප්‍රචණ්ඩකාරී දේශපාලනය ස්ත්‍රින්ට නොගැලපෙන බවද ඒ අතර පිළිගැනීමට ලක්ව ඇත. පවුල තුළ දරුවන් හදා වඩා ගනිමින් ස්වාමියාට කීකරු බිරිදක්, මවක් ලෙස කටයුතු කිරීම හොද ගැහැණියකගේ ලක්ෂණයක් ලෙස විශ්වාස කෙරේ. මෙම සාම්ප්‍රධායික ස්ත්‍රිය නායකත්වයට ප්‍රවිශ්ඨ වීමට, පොදු කටයුතුවල නිරත වීමට පවතින ඉඩකඩ ඉතා සීමිතය.

          මේ ආකාර වූ නොයෙකුත් සමාජ සාධක පදනම් කර ගෙන කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීම සිදු නොවේ. 

Comments

Popular posts from this blog

සෙසරෙ ලොම්බ්‍රෝසෝ විසින් ඉදිරිපත් කරන ලද අපරාධකරුවන් පිළිබද න්‍යාය